
වැලිගම, වැලිහිඳ ප්‍රදේශයේ 'අයිස්' මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය බවට සැකකෙරෙන නිවසක් වැටලූ වැලිගම පොලීසිය, මෝල්ටා ජාතිකයෙකු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සල්මල් උයන ප්‍රදේශයේ පිහිටි මෙම නිවස පොලිස් භාරයට ගෙන ඇත්තේ ඊයේ (21) සවස් කාලයේදීය.
ලද තොරතුරක් මත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර ඇති අතර,
අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි තරුණයෙකි. මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඔහු මෙම නිවස කුලී පදනම මත ලබාගෙන ඇති බවයි.
මෙම ස්ථානය පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවට සැකකරන අවර්ණ ද්‍රවයක් අඩංගු ලීටර් පහේ කෑන් 20ක්, විවිධ රසායනික ද්‍රව්‍ය අසුරන ලද ප්ලාස්ටික් බෝතල් 4ක්, සුදු පැහැති රසායනික ද්‍රව්‍ය සහ තවත් රසායනික ද්‍රව්‍ය කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන ඇත. ඊට අමතරව, 'අයිස්' මත්ද්‍රව්‍යවලට සමාන බවට සැකකෙරෙන මත්ද්‍රව්‍යයක් අඩංගු පාර්සලයක්, රසායනික ද්‍රව්‍ය යෙදූ ප්ලාස්ටික් තැටි දහයක්, තරාදියක් සහ උෂ්ණත්වමානයක් ඇතුළු උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සොයාගත් රසායනික ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අද (22) දින රස පරීක්ෂකවරයා විසින් සිදුකිරීමට නියමිතව ඇති බැවින්, එතෙක් අදාළ නිවස සහ එහි තිබූ ද්‍රව්‍යවලට පොලීසිය විසින් මුද්‍රා තබා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval